අද දිවයින පුරා විශේෂ ආරක්ෂාවක්

අද 28 දිනට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මෙම ආගමික කටයුතු සඳහා සහභාගීවන ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණයවන පරිදි පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සහ පල්ලි අවට රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

මීට අමතරව ඉස්ලාම් භක්තිකයින් බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම, පාමුර, බීට්ටු සහ යතුරුපැදි සංචාර යොදවමින් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති අතර, අවස්ථානෝචිතව තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි නිලධාරීන් ද රාජකාරියේ යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.