කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් රුපියල් කෝටි 60 ක අයථා මූල්‍ය ගනුදෙනුවක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන අසත්‍ය ප්‍රචාරණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
Facebook සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාත්මක වන “Top News Lk” නැමැති ෆේස්බුක් පිටුවෙහි අනුරාධ තෙන්නකෝන් නමැති පුද්ගලයෙකු වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් ඔප්පු නිරවුල් කිරීමේ කටයුත්තක් සඳහා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ගරු අමාත්‍ය ලාල් කාන්ත මහතා රුපියල් කෝටි 60ක අයථාමූල්ය ගනුදෙනුවක් සිදුකළ බවට සඳහන් කරමින් කරන ලද වීඩියෝවක් පළ කර ඇත.
එකී ප්‍රකාශයන් මඟින් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට මෙන්ම අමාත්‍යාංශයේ නිල ක්‍රියාවලියට දෝෂාරෝපණය කරමින් එහි අක්‍රමවත් භාවයක් පවතින බව දැක්වීමට සංවිධානාත්මකව උත්සාහ කර ඇති බව ද එම පැමිණිල්ලෙහි දක්වා තිබෙනවා.
මෙය අමාත්‍යාංශයේ සහ අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය සිතාමතා පලුදු කිරීමේ චේතනාවෙන් දියත් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත මඩ ප්‍රචාරයක් මෙන්ම සංවිධානාත්මක කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවද සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සෘජු හා විවෘත පරීක්ෂණයක් පවත්වා එහි සත්‍යතාවය අනාවරණය කර දෙන ලෙසයි එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.
