ලුෆ්තන්සා ගුවන් ගමන් වාර 20,000ක් අවලංගුයි

ඉහළ යන ඉන්ධන මිල හමුවේ ලුෆ්තන්සා ගුවන් සේවය ගුවන් ගමන් වාර 20,000ක් අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන සැපයුම අඩාල වීම ඊට හේතුවයි.

මීට සමගාමීව යුරෝපය පුරා ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ඉහළ යාමේ අවදානමක් ද මතුව පවතිනවා.

අමෙරිකා – ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ගුවන් යානා ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන ප්‍රවාහනය අඩාල වීම යුරෝපයේ ගුවන් සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි පෙනී යන්නේ.

මේ හේතුවෙන් සිය යුරෝපීය කෙටි දුර ගුවන් ගමන් වාර රැසක් ලබන ගිම්හාන සෘතුවේදී නවතා දැමීමට ලුෆ්තන්සා සමාගම පියවර ගන්නා බව පවසනවා.

ලුෆ්තන්සා ආයතනයට අමතරව ඩෙල්ටා සහ කේ.එල්.එම් වැනි ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් කිහිපයක් ද සිය ගුවන් ගමන් සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් පීඩාවට පත්වන මගීන්ට විකල්ප පහසුකම් සලසා දීමට පියවර ගන්නා බවයි ලුෆ්තන්සා කළමනාකාරීත්වය කියා සිටින්නේ.