අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර – සාලිය මාවත ප්‍රදේශයේ නිවසක් තුළ දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.
මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය සැකකාරියක් සහ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අනුරාධපුර – බණ්ඩාර පුලියන්කුලම හා සාලිය මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අද (23) පස්වරුවේදී සිදුකළ මෙම වැටලීමෙන් ගෝඩා බැරල් හතරක්, නීති විරෝධී මත්පැන් බෝතල් 150ක් සමඟ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරී ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරනවා.
