අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දන්වා සිටියා.
කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුල්වීමට හැකියාව තිබුණ ද සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවේදී 2026 වසරේ මැයි මස 05 වනදා සහ 2026 වසරේ මැයි මස 07 වනදා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඊට අමතරව මරණකරු පදිංචි වී සිටි නිවසේද සිසීටීවී යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම සීසිටීවී යන්ත්‍රවලද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිසිය මරණකරු පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදුවූ නිවසේ තිබූ සීසීටීවී කැමරාවලද දර්ශන පටිගතවී නොමැති බව සඳහන් කළා.
අනුව අදාල සීසිටීවී කැමරා සවිකල සමාගමේ ඉංජිනේරුවරයා අද දිනය සාක්ෂියට කැඳවා තිබෙන බවත් පොලිසිය පැවසුවා.
මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සීසීටීවී කැමරා පද්ධතිවලට අදාල ඩී.වී.ආර් යන්ත්‍ර පොලිසිය භාරයට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
වැඩිදුටරත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයගත්
හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව සඳහන් කළා.
එම ස්ථානයේ තිබී සොයා ගත් නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 09 ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලිසිය අනාවරණය කර සිටියා.
තවදුරටත් කරුණු දැක්වූ පොලිසිය මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදු වූ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉකුත් දිනයේ නියෝග ලබා ගෙන තිබුණද ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව යලි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ” මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද?” යනුවෙන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ ” ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා.” යනුවෙන් පැවසුවා.
නැවතත් පොලිසිය ඇමතු මහේස්ත්‍රාත්වරයා “ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුනා කියලා සාක්කි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැදවන්න ඕන. ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?” යනුවෙන් ප්‍රශ්න කළා.
ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා සඳහන් කළේ “ස්වාමීනි… මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ” යනුවෙන් පැවසුවා.
ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා
“රිමාන්ඩ් බාරයට පත් කරල තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරල තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්” යනුවෙන් පැවසුවා.
අද දින සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන් කීප දෙනෙකුම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කැඳවා තිබුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා “අද සාක්ෂියට කිහිප දෙනෙකුම කැඳවා තිබෙනවා. ඒ හැම කෙනාගේම සාක්කි අද ගන්න බැහැනේ. අනවශ්‍ය අය මුදා හරින්න කටයුතු කරන්න. සාක්කිකරුවන් අතර පොලිස් නිලධාරිනුත් ඉන්නවා. ඒ අය රඳවා ගැනීම සුදුසු නෑ” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බවත් සඳහන් කළා.
