ශ්‍රී ලංකාවේ පළමු ඉසව් දින දර්ශනය එළිදැක්වේ

ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්‍රය නව මානයකට ගෙනයමින් ශ්‍රී ලංකාවේ පළමුවන ඉසව් දින දර්ශනය (Sri Lanka Event Calendar) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඔ දී එළිදක්වන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් ඉසව් කළමනාකරණ කර්මාන්ත ක්ෂේත්‍රයට හිමිවන අතර එය පසුගිය වසරේ දී (2025) රුපියල් බිලියන 60 ක වටිනාකමක් සහිත අති දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක් වෙයි.

මෙම කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධන කරමින් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින්ට තම කර්මාන්තය හා වෙළඳපළ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලු ඉසව් ඇතුලත් කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ඉසව් කළමනාකරණ උපදේශන කමිටුව විසින් මෙම “ශ්‍රී ලංකා ඉසව් දින දර්ශනය” සකස් කර තිබේ.

ගෝලීය සංචාරක කර්මාන්තය සමඟ බද්ධවෙමින් සංස්කෘත්ක උත්සව, ක්‍රීඩා, ඉහළ මට්ටමේ රැස්වීම් හා සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන ඇතුළු මෙරට පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය වැඩසටහන් පිළිබඳව නිල මඟපෙන්වන්නා ලෙස මෙම “ශ්‍රී ලංකා ඉසව් දින දර්ශනය” කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ අප රටේ භූගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාවට මෙම ක්ෂේත්‍රයේ ඉතා හොඳ අවස්ථාවන් රැසක් නිතැතින්ම ලැබී ඇති බවත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන, අති විශාල වක්‍ර රැකියා අවස්ථාවන් රැසක් උදාකර ඇති මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් උපරිම දායකත්වය ලබා දෙන බව පැවසීය. එසේම සංචාරක කර්මාන්තය දිරිමත් කරමින් ශ්‍රී ලංකාව ඉසව් කළමනාකරණ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බවයි.

ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරතවන්නන් හා අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස් වෙනුවෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ ක්‍රමවත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික ඉසව් කළමනාකරණ හා අළෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදුන්වා දීම ද මෙහි දී සිදුවිය.