චීනය කැළඹූ ප්‍රබල භූ කම්පනය

චීනයේ දකුණු ප්‍රදේශයේ ගුවැන්ෂි වැන්ග් ස්වයං පාලන කලාපයට අයත් ලියුෂෝ නගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 5.2 ක අගයකින් යුතුව අද අලුයම සිදුවූ භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර සිව්දෙනෙකු රෝහල්ගත කරනු ලැබුවා.

ප්‍රධාන කම්පනයට පෙර සහ පසුව රික්ටර් මාපක 2.2 ත් 3.2 ත් අතර අගයන් ගත් තවත් කම්පන පහක් පමණ වාර්තා වී ඇති බවයි චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි 13 ක් මුළුමනින්ම කඩා වැටී ඇති අතර, පුද්ගලයන් 7000 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

වඩාත්ම හානි සිදුවූ ෂැංඩෙන්ග් ගම්මානයේ සුන්බුන් අතර සිරවී සිටින අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා සහන කණ්ඩායම්, පොලිසිය සහ ගිනි නිවන අංශ මේ වනවිටත් දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.

මේ අතර, භූමිකම්පාව හේතුවෙන් ලියුෂෝ වටරවුම් මාර්ගයේ නායයාමක් ද සිදුව ඇති අතර, එමඟින් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.