මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවලයන්හි පසුගිය (13) වැනි දින අලුයම 6.17 ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව කප් සිටුවීමෙන් අගෝස්තු මස 13 දා පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරුණා.

කප් සිටුවීමෙන් අනතුරුව ඉකුත් 13 දා සිට ඊයේ (17) දිනය දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වුණා.

පස්වන කුඹල් පෙරහැර 22 වැනි දින වීදී සැරීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහර ආරම්භ වනවා.

රන්දෝලි පෙරහැර වීදි සංචාරයට නියමිතව ඇත්තේ අගෝස්තු මස 23 දා සිට 27 දා දක්වායි.

අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 27 දා වීදි සංචාරය නිමා කර ගෙවැදීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර අස්ගිරිය ගෙඩිඩ්ගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කෙරෙනවා.

අනතුරුව සිව් මහා දේවල පෙරහැර ගැටඹේ දිය කපනා තොට වෙත ගමන් ගෙන 28 දා අලුයම් කාලයේ දිය කැපුම් මංගල්‍යය සිදු කරනු ලබනවා.

එදින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව දිය වඩන නිලමේ නිලංග දෑල මහතා පවසනවා.