තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි රාත්‍රී සමාජශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් විසිහත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් මහතා තහවුරු කර සිටිනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගත් මෙම අනතුරෙන් තවත් හැටකට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
බැංකොක් නුවර චතුචක් ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජශාලාවක මෙම ගින්න හටගෙන තිබෙනවා.
විදුලි පරිපථ පද්ධතියක ඇති වූ දෝෂයක් හේතුවෙන් ගින්න ක්ෂණිකව මුළු ගොඩනැඟිල්ල පුරාම පැතිර ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වන්නේ.
ගින්න හටගත් අවස්ථාවේදී එහි අභ්‍යන්තරයේ තිබූ අලංකරණ ද්‍රව්‍ය හේතුවෙන් එය වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, හදිසි පිටවීමේ දොරටු අවහිර වන සේ වෙළඳ කුටි සකසා තිබීම හේතුවෙන් පිරිසට ඉන් ඉවතට යාමට නොහැකි වී ඇති බව බැංකොක් ආණ්ඩුකාරවරයා පවසනවා.
ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් බහුතරයකගේ මළ සිරුරු සොයාගෙන ඇත්තේ දුමෙන් බේරීම සඳහා ඔවුන් සැඟවී සිටි වැසිකිළි තුළින් බවයි බලධාරීන් කියා සිටින්නේ.
ගිනි නිවන භටයින් පැමිණ පැය භාගයක පමණ කාලයකදී ගින්න පාලනය කිරීමට සමත් වුවද, මේ වන විටත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටිනවා.
