බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව දුරස්ථ සේවා ක්‍රමවේදයට අදාළ නව මාර්ගෝපදේශ හඳුන්වාදී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ඒ ආශ්රිත ගෝලීය ආර්ථික බලපෑම් හේතුවෙන් ඉන්ධන සැපයුම් සීමාවන් ඇතිවීමත් සමඟ කාර්යාල සේවා සීමිතව පවත්වාගෙන යාමට රජය මීට පෙර පියවර ගෙන තිබුණා.
ඒ අනුව රාජ්‍ය ආයතනවල සේවා දුරස්ථව සැපයීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳව මෙම මාර්ගෝපදේශ හඳුන්වා දී ඇති අතර, රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, අනුමත කිරීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව ද අවධාරණය කළා.
ස්කෑන් කරන ලද අත්සන්, ඩිජිටල් අත්සන් හෝ නිල ඊ-මේල් මගින් හුවමාරු වන ලේඛන වලංගු ලෙස පිළිගන්නා බවද එහි සඳහන්.
මෙහිදී රජයේ කටයුතු සඳහා හඳුන්වා දුන් meet.gov.lk මාර්ගගත වීඩියෝ සම්මන්ත්රණ වේදිකාව ප්‍රධාන සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා කිරීමට නිර්දේශ කර ඇති අතර, අවශ්‍ය අවස්ථාවලදී වෙනත් වාණිජ වේදිකා සීමිත කාලයක් සඳහා භාවිතා කළ හැකි බවද දක්වා තිබෙනවා.
