පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිම කිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 695කට ආසන්න (එනම් රුපියල් බිලියන 208කට අධික) ණය වාරිකයක් ශ්‍රී ලංකාවට වහාම නිදහස් කිරීමට අනුමැතිය හිමිව ඇති බවයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ශක්තිමත් මට්ටමක පවතින බව පවසන අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ඉන්ධන සහ විදුලි ගාස්තු පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම ඇතුළු පූර්ව කොන්දේසි මෙන්ම 2025 දෙසැම්බර් අවසානය සඳහා වන සියලුම ප්‍රමාණාත්මක ඉලක්කයන්ද ශ්‍රී ලංකාව සාර්ථකව සපුරා ඇති බව පෙන්වා දෙනවා.

ගල්ෆ් කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමනට යම් අවදානම් මතු විය හැකි වුවද, මෙරට ආර්ථිකය අඛණ්ඩව ශක්තිමත්ව සහ ස්ථාවර මට්ටමක පවතිනු ඇති බවට එම ආයතනය පුරෝකථනය කරනවා.

මෙම සමාලෝචනය නිමවීමත් සමඟ සමස්ත අරමුදල් පහසුකම යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට නිදහස් කර ඇති මුළු මුදල වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක්, එනම් රුපියල් බිලියන 722කට අධික අගයක් දක්වා ඉහළ යන බවයි මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ.

වත්මන් ගෝලීය සහ දේශීය අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන කැපවීමෙන් ඉදිරියට රැගෙන යන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කරනවා.

එසේම සුළි කුණාටුවේ බලපෑමෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය තාවකාලික සහන පැකේජයක් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම සුදුසු පියවරක් බව පවසන ඔකමුරා මහතා, 2027 වසරේ සිට දළ දේශීය නිෂ්පාදනය සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්ත ඉලක්කය සපුරා ගැනීමට මෙරට බලධාරීන් එකඟ වී ඇති බව ද පෙන්වා දෙනවා.

ගෙවුම් ශේෂය ස්ථාවර කරගැනීම සහ විදේශීය සංචිත නැවත ගොඩනැඟීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ.

අමෙරිකානු ඩොලර් බිලියන 3ක සමස්ත ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය, ණය තිරසාරභාවය, මිල ස්ථායීතාව සහ දූෂණය පිටුදැකීමේ ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇති බව වැඩිදුරටත් කියා සිටිනවා.