කිලෝවියා යළිත් සක්‍රීයයි

හවායි දූපත් සමූහයේ පිහිටි කිලෝවියා ගිනි කන්ද අතිශය ප්‍රබල ලෙස යළිත් සක්‍රිය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගිනි කන්දෙන් මීටර් 400 ක් පමණ ඉහළට ලාවා විහිදීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග වසා තැබීමටත්, දහස් සංඛ්‍යාත පිරිසක් ඉවත් කිරීමටත් බලධාරීන් විසින් පියවර ගෙන ඇති බවයි.

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ කිලෝවියා ගිනි කන්දෙන් මෙම ලාවා විදීම ආරම්භ වූ බව විද්‍යාඥයන් පවසනවා.

43 වන අදියර ලෙස නම් කර ඇති මෙම සක්‍රිය වීමත් සමඟ අඩි 1300 ක් පමණ ඉහළට ලාවා දහරා විහිදෙන අයුරු විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

මෙහි බලපෑම හේතුවෙන් හවායි දූපතේ අංක 11 දරන ප්‍රධාන මහාමාර්ගය වසා තැබීමට සිදුව ඇති අතර, හවායි ගිනි කඳු ජාතික උද්‍යානයට පැමිණි සංචාරකයන් ද වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගිනි කන්දෙන් නිකුත් වන වායු ප්‍රදේශය පුරා ස්වසන රෝග සහිත පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල කරන්නක් බවයි.

2024 වසරේ දෙසැම්බර් මාසයේ සිට වරින් වර මෙලෙස සක්‍රිය වන කිලෝවියා ගිනි කන්දේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව භූ විද්‍යාඥයන් දැඩි අවධානයකින් පසුවනවා.