නව යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ඊයේ (01) දින සිය ධූරයේ රාජකාරී භාර ගෙන තිබෙනවා.

රාජකාරී භාරගැනීමට පෙර නව යුද්ධ හමුදාධිපති විසින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමටයි කටයුතු කළේ.

අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේදී නව යුද්ධ හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදානුකූලව කදවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, පසුව සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය ධූරයේ රාජකාරි අරම්භ කළා.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න 1990 ජුලි මස 14 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට එක්වන ලදි. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නිත්‍ය පාඨමාලා අංක 34 යටතේ මූලික යුද පුහුණුව අවසන් කිරීමෙන් පසු 1992 ජුනි මස 06 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත වී තිබෙනවා.

දශක තුනක් පුරා විහිදී ගිය කීර්තිමත් හමුදා දිවිය තුළ ඔහු විවිධ අණ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු හොබවා ඇති බවයි වාර්තා වන්නේ.

අණදෙන නිලධාරියෙක් වශයෙන් ඔහු විසින්, අණදෙන නිලධාරි 16 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, බලසේනාධිපති 551 පාබල බලසේනාව, සේනාංකාධිපති 23 පාබල සේනාංකය, ආරක්ෂක සේනා ආඥාපති – නැගෙනහිර, සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යන තනතුරු හොබවා තිබෙනවා.