සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

පේරු නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙස්නා සී -208 යානයක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවය. 

එම අවස්ථාවේදී එය නස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් සිට ඇති බව සඳහන්ය. 

යානය කඩා වැටෙනවිට මගීන් 11 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු එහි සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණවී නොමැති බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.