පකිස්ථාන හෙලිකොප්ටර් යානයක් කඩා වැටී සියල්ලෝම ජීවිතක්ෂයට

පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරබාද් අගනුවර ආසන්නයේදී හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පකිස්ථාන අන්තර් සේවා මහජන සබඳතා අංශය තහවුරු කරන්නේ.

කෙසේ වෙතත් අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

අනතුරට පත්ව ඇත්තේ පකිස්ථාන යුද හමුදා ගුවන් සේවයට අයත් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බව හමුදා මාධ්‍ය අංශය වාර්තා කරනවා.

යානය ගුවන්ගත කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර එහි සිටි කිසිවෙකුත් දිවි බේරාගෙන නොමැති බවයි හමුදා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

අනතුර සිදු වූ ස්ථානය වෙත සහන සේවා කණ්ඩායම් වහාම ළඟා වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට මේ වන විටත් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ප්‍රාදේශීය රජය විසින් අදාළ කලාපයේ ක්‍රියාත්මක විරෝධතා කණ්ඩායමක් ත්‍රස්ත විරෝධී නීති යටතේ තහනම් කිරීමත් සමඟ මුසෆරබාද් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති පසුබිමකයි මෙම අනතුර සිදුව ඇත්තේ.