‘ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව අද (27) යක්කල අබේසේකරාරාමයෙන් ආරම්භ කර කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ (26) උදෑසන තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ කළ සාම පා ගමන රාත්‍රිය වන විට යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කරනු ලැබුවා.
දැඩි අව් රශ්මිය නොතකා දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම සාම පාද යාත්‍රාවට සහභාගි වී සිටිනු දක්නට ලැබුණු අතර උණුසුම නිසා මාර්ගය රත්වීමෙන් පා ගමනේ යෙදෙන හිමිවරුන්ට සිදු වන පීඩා අවම කිරීම සඳහා කෙසෙල් කොළ සහ පාවඩ මාර්ගයේ එළීමට පියවර ගෙන තිබුණා.
සාම පා ගමනේ යෙදෙන මහා සංඝරත්නයට මල් පූජා කිරීමටත් උන්වහන්සේ ගමන් ගන්නා මාර්ගයේ මල් ඇතීරීමටත් බොහෝ බැතිමතුන් කටයුතු කර තිබෙනවා.
ආගමික සහජීවනය හා සාමය පිළිබඳ ලෝකයට පණිවුඩයක් ලබාදෙමින් ගමන් ගන්නා සාම පා ගමන සඳහා බෞද්ධයන්ට අමතරව අනෙකුත් ආගමික සහ ජාතික කණ්ඩායම්වල පිරිස් ද අන්‍යාගමික නායකයන් ද සහභාගීවීම විශේෂත්වයක්.
හෙට (28) දා පෙ.ව.11.00ට කැලණිය රජමහා විහාරස්ථානයේදී පාසල් ළමයින් හා විශ්වවිද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර පසුව කැලණි විහාරයෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.
හෙට (28) ප.ව. 4.00 ට නිදහස් චතුරස්රයේදී ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවයක් ද පැවැත්වෙනවා.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළය නිල වශයෙන් භාර දීමට නියමිතයි.
නැවත ප.ව.5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00 ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය, ‘Clean Sri Lanka’ වැඩසටහන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට සහාය ලබා දෙනවා.
