බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර බටහිර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිස එම යානාවල කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අතර, ඉන් එක් යානයක විදේශීය සංචාරකයින් පිරිසක් ද ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූ යානා දෙක කඩා වැටීමත් සමඟ එම ස්ථානයේ විශාල ගින්නක් ද හටගෙන තිබෙනවා.
ගුවනේදී එකිනෙක ගැටුණු මෙම හෙලිකොප්ටර් යානා දෙක කඩා වැටී ඇත්තේ විද්‍යුත් මෝටර් රථ අලෙවිසැලක රථ ගාල් කිරීමේ අංගනයකට බව රියෝ ද ජැනයිරෝ නගරාධිපතිවරයා තහවුරු කරනවා.
යානා කඩා වැටීමත් සමඟ හටගත් දැවැන්ත ගින්න හේතුවෙන් එහි නවතා තිබූ විද්‍යුත් මෝටර් රථ විස්සකට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
විද්‍යුත් මෝටර් රථවල ඇති බැටරි හේතුවෙන් හටගත් ගින්න නිවීම අතිශය දුෂ්කර වූ බව ගිනි නිවන අංශ පවසනවා. යානා කඩා වැටුණු ස්ථානය අවට නිවාස රැසක් පිහිටා තිබුණ ද, ඒවා මතට යානා කඩා නොවැටීම නිසා සිදුවීමට තිබූ මහා පරිමාණ ඛේදවාචකයක් වැළකී ගොස් ඇති බවයි විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වුවත් මෙම අනතුර සිදුවීමට හේතුව සෙවීම සඳහා බ්‍රසීල ගුවන් බලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
